‘අයාලේ යන විරෝධතා බොහොම භයානකයි’

0
121

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව අප්‍රේල් 03 වනදා මිනිසුන් පාරට බැස්සීමට කරන යෝජනාව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන්න කියාය.

03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම් බව ඔහු අවධාරණය කර සිටියි.

මෙරට ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.

ඊළඟට එන ආණ්ඩුව කාගේ ආණ්ඩුවක්ද ?

දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා

අප්‍රේල් 03 ආණ්ඩුව ගෙදර යවන්න රටම පාරට බහිනවා කියලා හැමෝටම එන්නලු.

මෙහෙම FB එකේ සහ Whatsapp කණ්ඩායම් හදාගෙන හැංගිලා ඉඳගෙන කරන නිර්නාමික කැඳවීම් වලට මම සහභාගි නොවෙමි. අනෙක් හැමෝටමත් මේ ලණුව නොකන්න යැයි කියමි.

වගකීම් බාර ගන්න කිසිවකු නැති, මේ වගේ ඔලමොට්ටල විරෝධතා මගින් ආණ්ඩු ගෙදර යවන්න බැහැ. මේ ආණ්ඩුව ගෙදර යැව්වා කියලා හිතමු පොඩ්ඩකට, ඊළඟට එන ආණ්ඩුව මොකාගේ ආණ්ඩුවක්ද ? කවුරු හරි කල්ලියක් අපි තමයි ආණ්ඩුව කියලා ආවොත් මොනවා කරයිද?  

03 වනදා පාරට බැස්සායින් පසු 04 වනදා සිදුවන්නේ කුමක්දැයි නොදන්නා අරාජික කැඳවීම් රටටත් ජනතාවටත් අකාර්යක්ෂම, අසාර්ථක ආණ්ඩු පාලන වලට වඩා අතිශය අවදානම්ය.

එනිසා මෙවැනි වගකීම් විරහිත, නිර්නාමික වෘෂභ කැඳවීම් බෙදා හරින්නටවත් හවුල් නොවන්න.”

(කුසල් පෙරේරා  මාර්තු 30)

ප්‍රවේසමෙන් ! – ඛේදවාචකයක් විය හැකියි

මේ අතර ජනප්‍රිය නිවේදකයකු හා කලා ශිල්පියකු වන නාරද බක්මීවැව සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

නාරද බක්මීවැව

”තැන තැන දේශපාලන මගපෙන්වීම් වලින් තොර ජන විරෝධයන් මතු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබේ. ඒ තරමටම  ජනතාවගේ පීඩනය උත්සන්න වී තිබේ. මේවායේ ඇරඹුම සහ අවසානය පිළිබඳව වග කියන්නට කිසිවකු නැත.

විරෝධයට එකතු වන ජනතාවගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්නට මේ ස්ථාන වල නායකයින් නැත. මෑත ලෝක ඉතිහාසයේ  එලෙස ඇරඹුන සටන් අවසන් වී ඇත්තෙ ඛේදවාචක වලිනි. නැති නම් රටවල් අරාජික වීමෙනි. එසේත් නැතිනම් කොහේවත් නැති එකෙකු පැමිණ මෙම සටන් හයිජැක් කිරීමෙනි.

නැතහොත් අවසානයේ මිලිටරි පාලනයක් දක්වාම මේවා පැතිර යාමේ ඉඩ කඩ පවතී.

එලෙස සැළසුම්සහගත නොවන ලෙස පහුගිය කාලයේ තාප්ප වල සිතුවම් ඇඳි තරැණ කණ්ඩායම් කොහේදැයි කව්රැවත් දන්නේද නැත. ඔවුන් කල දේ ප්‍රතිඵලයක්ද නැත. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් නැවත එකතු වන්නට ඔවුන් සංවිධානගත වීද නැත. එවන් වටා පිටාවක නැවත පරාජය වන්නේ පීඩනයට පත් අපමය.

එනිසා ඔබ දේශපාලන පක්ෂ වලට අකමැති නම් ශක්තිමත් නායකත්වයක් සහිතව සිවිල් සංවිධානයක් හෝ පිහිටුවාගෙන මෙම විරෝධතාවයන් සමග එකතු වෙන ලෙස යෝජනා කරමි.

රටේ දේශපාලන නායකයිනි, දෙවියන්ගෙ නාමයෙන් බේද පසෙකලා ජනතාව තුළින් මොදු වෙමින් තිබෙන මේ විරෝධයන්ට පොදු දේශපාලන මැදිහත් වීමක් නොකලහොත් මේ රට තවත් අගාධයට යනු ඇත.

‘අයාලේ යන විරෝධතා බොහොම භයානකයි’ – රංග කලන්සුරිය

රංග කලන්සුරිය

මෙම කරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග කලන්සුරිය පහත දැක්වෙන සටහන සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත.

”මිනිස්සු තමන්ගෙ විරෝධය පාන්න තැන තැන රැස්වෙන එක දැන් වලක්වන්න බැහැ. හැබැයි ශක්තිමත් දේශපාලන නායකත්වයක් නැතුව අයාලේ යන විරෝධතා බොහොම භයානකයි.

 ලිබියාවට, ඊජිප්තුවට, ටියුනීසියාවට විතරක් නෙමෙයි සිරියාවට උනෙත් ඕක. ඒ නිසා දේශපාලන කදවුරුවල හිර නොවී ජාතික නායකත්වයක් (එක නායකයෙක් නෙමෙයි) අද රටට අත්‍යවශ්‍යයි.”

හෙට වෙන දේ මම දන්නේ නැහැ. බයයි’ -කෙහෙලිය

මේ අතර හිටපු ජනමධ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මෙසේ පවසයි.

”හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ. දැන් යන්නෙත් බයෙන් ..රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින්  සිතිය යුතුයි.

අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.

වගකිවයුත්තෙක් නැතිව පාරට බහින්න එපා

වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාළ ප්‍රකාශය පහතින්.

උපුටා ගැනීම

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.

ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31

උපුටා ගැනීම අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here