අරගලේ අය හොයන්න තෙල් පුච්ච ගන්න එපා 

0
49

අරගලයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිටට පොලිස් නිලධාරීන් යොදවා බියගැන්වීම් සිදු නොකරන ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි.

එසේ නොකර අරගලයට සම්බන්ධ එහෙත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අය සිටින්නේනම් ඔවුන්ගේ නම් ලබා දුනහොත් එම පිරිස භාරදීමට හැකියාව පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

නඩු කිහිපයකට සහභාගී වීම සඳහා කොළඹ කොටුව අධිකරණ භූමීයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එසේම පසුගිය මස 13වන දින කොටුව ජනාධිපති කාර්යාලයේ පඩිපෙළ මත සිට ජනතාව ඇමතු කථිකයන් පිරිසක් ද මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට

පුජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසුවයි උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

අපකීර්තියක් ඇති කළැයි අත්අඩංගුවට

ජුනි මස නම වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයක දී රජයේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සහ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාවේ ඇඳුම්වලට අපකීර්තියක් ඇති කරන අයුරින් එම නිල ඇඳුම් කොටස් විකෘති කර ඇඳ සිටි බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මන්දිරයට ඇතුළු උනැයි 03ක් අත්අඩංගුවට

ජුලි 09 වන දින ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සහ දේපලවලට අලාභ හානි සිදු කිරීමේ වරදට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ මාතලේ පොලිසිය මගින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබුණි.

සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස විමර්ශන අංශය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනෙක් සැකකරු මාතලේ පොලිසිය මගින් නාගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35, 60 සහ 73වන වයස්වල පසුවන්නන්.

ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්‍ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.

එම නිවසේ මීට පෙර යොදවා තිබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට යොදවා ඇති අතර කොමාන්ඩෝ බලකායේ නිලධාරීන් යොදවා ආරක්‍ෂාව ශක්තිමත් කර තිබීම කැපී පෙනේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අද (24) දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඔහුගේ පැමිණීම සති දෙකක් පමණ ප්‍රමාද වන බව පසුව කියවිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here