දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි

0
88

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරිණ.

ඔහු ඇතුළු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි වී ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කර තිබුණි.

තීන්දුව ලබා දුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූයේ,

ප්‍රියසාද් ඩෙප් – එවක අගවිනිසුරු
බුවනෙක අලුවිහාරේ
ප්‍රියන්ත ජයවර්ධන
විජිත් මළල්ගොඩ
නලීන් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here