ලබන මස 4 දා පාර්ලිමේන්තුව නැවත රැස්වන තෙක් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවත්, රජයේ වෙනසක් සිදු නොවිය යුතු බවත්, රාජපක්ෂ පවුලේ බලවතුන් අතර ඊයේ පැවති රැස්වීමක දී තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් පැවති මෙම රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ,හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන අය සහභාගී වී ඇත.
මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉවත් විය යුතු බවට එහි දී ජනාධිපතිවරයා යෝජනා කොට ඇති බවත් චමල් රාජපක්ෂ එය අනුමත කොට ඇති බවත්, වාර්තා වෙයි.
පාර්ලිමේන්තු රැස්වීම මැයි 4 දා දක්වා කල් දමා ඇති බැවින් බහුතරය පෙන්වීමට විපක්ෂයට ඊට පෙර අවස්ථාවක් නොලැබෙන බව එහි දී බැසිල් රාජපක්ෂ ප්රකාශ කොට තිබේ.
ඒ දක්වා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවිය යුතු බව බැසිල් රාජපක්ෂ කියා ඇති අතර සියලු දෙනා එය අනුමත කොට ඇති බව වාර්තා වෙයි.
ලබන 4 දාට පෙර ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡා කොට ඉදිරි පියවර තීරණය කිරීමට ද එහි දී තීරණය වී තිබේ.