පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි

0
43

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.

කොළඹ ගාලු මුවදොර අරගල කරුවන්ට කණ්ඩායමක් පහර දීමෙන් අනතුරුව ප්‍රචණ්ඩවූ පිරිසක් විසින් ඉකුත් මැයි මස නව වෙනිදා පුද්ගලයෝ 20 කට වැඩි සංඛ්‍යාවක් බේරේ වැවට මෙලෙස ඇද දමා විවිධ හිරිහැරයට පත්කරනු ලැබූහ.

බේරේ වැවට ඇද දැමූ පිරිස අතර කාන්තාවෝ කිහිප දෙනෙක්ද වූහ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කළ බව කියන පුද්ගලයෙක් කොළඹ වෑකන්ද ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින මේ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක අයෙකි.

මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු පිරිසක් ඔහු බිමට බස්සවා ඔහුගේ මුදල් පසුම්බිය කොල්ලකා අනතුරුව බේරේ වැවට තල්ලු කර ඇතැයි ද පොලිසිය පවසයි.

පුද්ගලයන් බේරේ වැවට තල්ලු කළ සෙසු පුද්ගලයන් සොයා ගැනීමටද පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

රූපවාහිණියට ඇතුලු වු අයෙක් අල්ලයි

රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවකු අද (22) බාර වු බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

පොලිසියට බාර වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

රංගන ලක්මාල් අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. 

අද දිනයේ අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් ස්ථාන කිහිපයක පොලිසි වෙත පැමිණියේ භාර වීමට සහ ප්‍රකාශ ලබා දීමටයි.

මර්දනයට එරෙහි විරෝධතා ද ඇතැම් ස්ථානවල ක්‍රියාත්මක විය.

මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තැබේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ඒ බව තහවුරු කළේ ය.

පසුගිය 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ මහතා ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා හැර 15 දෙනා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

එක් අයෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා පැය 72 රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගැනුණු අතර, ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඔවුන් දින 90 ක් රඳවා තබා විමර්ශනය කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here