ලක්ෂ 67 ආහාර වේලක් නෑ

0
55

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 67කට සුදුසු ආහාර වේලක් සපයා ගැනීමට නොහැකි වී ඇති බව ජාත්‍යන්තර සංවිධාන ගණනාවකින් මේ වනවිට හෙළිකර තිබේ.

ලෝක ආහාර වැඩ සටහන ඉදිරිපත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවක් අනුව බීබීසී සංදේශය වෙඩ් අඩවිය මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පළකර ඇත. එය සම්පූර්ණයෙන් ම උපුටා පහත පළ කෙරේ.

“ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 67කට ප්‍රමාණවත් ආහාර වේලක් නැහැ”

ශ්‍රී ලංකාවේ ලක්ෂ 57ක ජනතාවක් මේ වන විට මානුෂීය ආධාර අවශ්‍ය වන තත්ත්වයක පසුවෙති. තවත් ලක්ෂ 63ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටිති. ලක්ෂ 67ක ජනතාවක් ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව නොකරති.

මේ, ලෝක ආහාර වැඩසටහන මෑතක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් මූලික දත්ත කිහිපයකි. උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා සිටින පීඩිත තත්ත්වයේ තරම මෙම සංඛ්‍යා දත්තවලින් පිළිබිඹු වෙයි.

ආහාර අර්බුදයේ බලපෑම

මිලියන 22ක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාව වසර 70ක් තුළ උදාවූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියි.

එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය හා බලශක්ති හිඟය, ඉහළ උද්ධමනය, ඉහළ යන භාණ්ඩ මිල සමඟ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව යි.

අසාර්ථක කෘෂිකාර්මික පරිවර්තන ක්‍රියාවලිය හරහා කෘෂි නිෂ්පාදන බරපතල ලෙස හීනවීම මඟින් අර්බුදය තවත් ගැඹුරුවී ඇතැ යි එක්සත් ජාතීන් පෙන්වා දුන්නේ ය.

ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිලගණන් ඉහළ යෑම, ආදායම් අහිමිවීම සමඟ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම වඩවඩාත් දුෂ්කර වී ඇතැ යි ලෝක ආහාර වැඩසටහන ද පෙන්වා දෙයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 මැයි මාසයේ දී 58% තිබූ ආහාර උද්ධමනය ජූනි මාසයේ දී 75.8% දක්වා ඉහළගොස් ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙන්නේ එම කාලය තුළ අගනුවර කොළඹ ආහාර උද්ධමනය 80%ක් ලෙස ඉහළගොස් ඇති බව යි.

ආර්ථික අපහසුතා හේතූවෙන් තම දෛනික ජිවිතයේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාවක් නොමැතිව ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බොහෝ පවුල් සම්බන්ධ මාධ්‍ය වාර්තාද දිගින් දිගටම පළවේ.

මීට පෙර බිබිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සම්බන්ධයෙන් පළවූ එවැනි වාර්තාවකදී ඇය පවසා තිබුණේ මෙවැන්නකි. “මම අද දවසට කාල නැහැ. කොස් ඇට බැදලා දවල්ට කෑවේ…හාල් තිබුණේ නැහැ ගෙදර. මහත්තයා නැතිවුණා. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.”

බීබීසී සිංහල සේවයේ අප කළ සොයා බැලීමකදී කැස්බෑවේ පදිංචි පී.ජයවතී අදහස් දක්වමින් කියාසිටියේද ඊට සමානම අත්දැකීමකි.

“මගේ මහත්තයට පිලිකාවක්. අපි ජීවත් වුණේ පොල්කටු හැඳි හදලා. දැන් තියෙන බඩුවල ගණන් හැටියට අපි කොහොමද ජීවත් වෙන්නේ. බිත්තරයක් 60යි. මහත්තයට කෑම කන්න අපහසුයි. බොන ජාති තමයි දෙන්නේ. කිරි එකක්වත් දෙන්නේ කොහොමද අද කිරිපිටිවල ගණන්. හාල් කියද? පරිප්පු කීයද? හරිම අපහසුවෙන් තමා අපි ජීවත් වෙන්නේ” යැයි කියා සිටියාය.

කොළඹ ගර්භනී කාන්තාවන් සඳහා ලබාදෙන වවුචර් නිරීක්ෂණය කළ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරන්නේ අර්බුදය හේතුවෙන් ඔවුන්ගෙන් 84%කට සිය ආදායමෙන් කොටසක් හෝ මුළු ආදායම අහිමිවී ඇති බව යි.

ශ්‍රී ලංකාවේ පවුල් 10කින් නවයකම මාසික අදායම රුපියල් 50,000කට අඩුබවත්, ප්‍රතිලාභීන් මතුකර ඇති ගැටලු වලින් 93%ක්ම ආහාර මිල පිළිබඳ ගැටලු බවත්, ආහාර හිඟය 77%කට බලපා ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහන ගැටලු ඇති බවත් ප්‍රතිලාභීන්ගෙන් 75%ක්ම කරුණු දක්වා තිබුණි.

ගාල්ල, මුලතිව් සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන කටයුතු යොදා ඇති අතර, අනතුරුව අම්පාර, කොළඹ, යාපනය, කුරුණෑගල, මන්නාරම, මොණරාගල, සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ද ආරම්භ කිරීමට නියමිත ය.

ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයන් 179,000ක් වෙත ආධාර සැපයීමට වත්මන් අරමුදල් ප්‍රමාණවත් බව යි.

ආහාර අර්බුදයක් ඇතිවුණේ ඇයි ?

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හිටපු නියෝජ්‍ය නේවාසික නියෝජිත ආචාර්ය ඩී. බී. ටී. විජේරත්න පවසන්නේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ප්‍රධාන ආහාර බෝග වන සහල් හා බඩඉරිඟු අවශ්‍ය ප්‍රමාණයට නිශ්පාදනය කර ගැනීමට නොහැකිවීම මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවූ බව යි.

වී අස්වැන්න අඩුවීමටත්, සත්ත්ව ආහාරවලට අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය අඩුවීමටත් පොහොර නොමැතිවීම හේතුවූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

“කොහොමටත් අපේ ආහාර සුරක්ෂිතතාව හොඳ තැනක තිබුණේ නැහැ. හාල් ගණන් ගියාම, වී ගණන් ගියාම, එළවළු ගණන් ගියාම අනිත් ඔක්කොමත් ගණන් ප්‍රවාහන වියදම් එක්ක ඉන්ධන මිල ඉහළ යෑම නිසා. එතකොට මිනිස්සු කරන්නේ කන ප්‍රමාණය අඩු කරනවා. පෝෂණය අඩු කරනවා,” ආචාර්ය විජේරත්න පෙන්වා දුන්නේ ය.

“පොහොර නැතිහින්දා එළවළුවල ගාණ වැඩියි. ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි නිසා නිකං හැදෙන පළතුරුවලත් ගාණ වැඩියි. තෙල් නැතිවුණාම ඒවත් එක්ක කොහොම ද ට්‍රාන්ස්පෝට් කරන්නේ?” ඔහු ප්‍රශ්නකර සිටියේ ය.

“මෙච්චර ගණන් ගියාම මිනිස්සුන්ට දරාගන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා.”

රසායනික පොහොර ආනයනය එකවරම තහනම් කරමින්, කාබනික පොහොර ක්ෂණිකව හඳුන්වාදෙමින් ආරම්භ කළ පසුගිය මහ කන්නයේ වගාව අර්බුදයට ලක්වූයේ ගොවීන්ට නිසිකලට ප්‍රමාණවත් පොහොර නොලැබීම හේතුවෙනි.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවී ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙයි.

“පළමුවැනිම ප්‍රශ්නය හාල් ටික, වී ටික හදා ගන්න බැරි වුණ එක. මෑත කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා පසුගිය මහ කන්නයේ අස්වැන්න 50%කින් අඩුවෙලා තියෙනවා කියලා. ඒක තමා ප්‍රධානම හේතුව. මෙවර යල කන්නය අන්තිමට පරක්කු වෙලා තමා හැදුවේ. දැන් වහිනවත් එක්ක. ඒකේ අස්වැන්න කොහොම වෙයි ද කියලා දන්නේ නැහැ. පොහාර ගෙනත් දුන්නෙත් ඊයේ පෙරේදා, ඒ ගෙනත් දුන්නෙත් යූරියා. යූරියා ඉතින් කරල් එන දවස්වලට ගහල ඇති වැඩක් නෑ. මෙවර අස්වැන්නත් ලක්ෂ පහක් හෙක්ටෙයාර් වගා කළා කිව්වට, අස්වැන්න කොච්චරක් අඩුවෙයි ද දන්නේ නැහැ,” එක් කෘෂි විශේෂඥයෙකු ප්‍රකාශ කළේ ය.

Full frame of harvested African rice, Gbedin village, Nimba County, Liberia.
ඡායාරූප ශීර්ෂ වැකිය,පසුගිය මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවී තිබුණි

අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද ?

සාමාන්‍යයෙන් මහ කන්නය ආරම්භ වන්නේ වසරේ 37 වන 39 වන සති අතර කාලයේ දී ය. ඔක්තෝම්බර් මස මුලදීම වර්ෂාව ලැබේ. ඉදිරි මහ කන්නය සැප්තැම්බර් 15 සහ ඔක්තෝම්බර් 15 අතර සමයේ දී ආරම්භවීමට නියමිත ය.

ආචාර්ය විජේරත්න ප්‍රකාශ කරන්නේ මීළඟ මහ කන්නයට පොහොර ගෙන්වීමට ආණ්ඩුවේ සූදානමක් පැවතීම හොඳ සංඥාවක් බව යි.

“ඒක හරි විදිහට කළොත්, දැන් කාලයත් තියෙන හින්දා, දැන් පොහොර ටික ගෙනත් දුන්නොත් ප්‍රශ්නයෙන් භාගයක් ඉවරයි,” ඔහු කියා සිටියේ ය.

“ඊට පස්සේ ට්‍රාන්ස්පෝට්වලට හොඳ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. කොළඹ මිනිස්සු හිටියට එළවළු එන්නේ පිටින් නේ. පසු අස්වනු හානිය අවම කරන්න ඕනේ. එතනින් කළමනාකරණය කරන්න ඕනේ. දැන් ගේන අස්වැන්නෙන් 50%ක්, 30%ක් වීසි කරනවාට වඩා, 100%ක් භාවිතයට ගන්න ක්‍රමයක් හදාගත්තොත් ට්‍රාන්ස්පෝට්වලට යන වැඩි ගාණ අඩුකර ගන්න පුළුවන්,” ඔහු පෙන්වා දුන්නේ ය.

එළවළු පළතුරු ආහාරයට ගැනීමේ අඩුවක්

පවතින ආහාර මිල ගණන් හමුවේ බොහෝ දෙනෙකු එළවළු පළතුරු ආහාරයට ගැනීම අඩුකර තිබේ.

“එළවළු වල මේ තියෙන මිලත් එක්ක මිනිස්සු එළවළු පාවිච්චි කරනවා හොඳටම අඩු යි. විශේෂයෙන්ම නාගරික දිළිඳු ජනතාව. ආහාර සුරක්ෂිතාවට මුහුණ දෙන්න බැරිවෙලා තියෙන්නේ ග්‍රාමීය දිළිඳු ජනතාවට නෙමේ, නාගරික දුප්පත් ජනතාවට. මිනිස්සුන්ට එළවළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 250 යි, 300 කිව්වම, මිනිස්සුන්ට හාල් කිලෝග්‍රෑම් එකක් 300 කිව්වොත් මිනිස්සු ගන්නේ මොකද්ද? හාල් නේ,” ඔහු ප්‍රකාශ කළේ ය.

“ඉස්සරත් දුප්පත්ම අය ආදායමෙන් 50%ක් වියදම් කළේ කෑමවලට. දැන් ආදායම් මට්ටම වැඩිවෙන්නේ නැතිව ආහාර මිල ගණන් වැඩි වුණාම මොකද වෙන්නේ? අර ටිකම කන්න නම් 100%ක් වියදම් කරන්න වෙනවා මුළු පඩියෙන්ම,” ආචාර්යවරයා කියා සිටියේ ය.

ගෙවතු වගාවට යොමුවන්න

මෙම අර්බුදය ඇතිවීමට පෙර සිටම මෙරට ආහාර වේලේ විටමින් ඒ, විටමින් බී 9 සහ යකඩවල අඩුවක් පැවති බව ආචාර්ය විජේරත්න පෙන්වා දුන්නේ ය.

“මේ තුනම ගන්න පුළුවන් ආහාරයක් තමා පළා වර්ග. ඔය විටමින් එන හොඳම දේ තමා මස් හා මාලුවලින්. එහෙම ගන්න බැරිනම් හොඳම විකල්පය තමා පලා වර්ග,” ඔහු සඳහන් කළේ ය.

ඇතැම් විද්වත්හු පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය තුළ හැකි සෑම කෙනෙක්ම ගෙවතු වගාවට ජනතාව යොමුවීම ඉතා වැදගත් බව යි.

නාගරික නිවාස ආශ්‍රිතව වුව ද සුළු පරිමාණයෙන් ගොටුකොළ වැනි පළා වර්ග වගාවන් ආරම්භ කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

එවැනි පළා වර්ග නිවාස ආශ්‍රිත වගාකර ගැනීමෙන් නිවසේ සාමාජිකයින්ගේ පෝෂණය සපුරා ගැනීමට මෙන්ම නිවසේ වියදම අඩුකර ගැනීමට ද හැකිබව ඔවුන්ගේ අදහසයි.

එහෙත් එමඟින් දීර්ඝ කාලීනව දෛනිකව පවුලක පෝෂණ අවශ්‍යතාවය මුළුමනින්ම සපුරා ගැනීමට ප්‍රයෝගිකව හැකිද යන්න ප්‍රශ්න සහගත බව මීට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන විද්වතුන්ගේ මතය වී තිබේ.

(බීබීසී සිංහල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here