පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට (27) උදෑසන අම්පාර පොදු සුසාන භූමියේ දී මෘත ශරීර කොටස් නැවත DNA පරීක්ෂණය සඳහා ගොඩගැනීමට නියමිතය.
එම ගොඩගැනීම අම්පාර මහෙස්ත්රාත්වරියගේ සහභාගීත්වයෙන් සිදුවන අතර මුල් අවස්ථාවලදී විමර්ශන සඳහා සම්බන්ධ වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ සියලු පෙර පොලිස් විමර්ශන නිලධාරීන් සමග රජයේ රස පරීක්ෂක නිලධාරින් මෙහිදී සහභාගී වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
2019 අප්‍රේල් 21 වන දින සහරාන් ප්රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයට සමගාමීව සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් යන අය විසින් 2019.04.26 වන දින අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මියගියේය.
එහිදී වැඩිහිටියන් හා ළමයින් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බවට විමර්ශනවලදී නිරීක්ෂණය වී තිබුණ ද එම ස්ථානයේ සිටි බවට සැකකරන කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මොහොමදු හස්තුන් යන පුද්ගලයාගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි තිබෙන බවට DNA පරීක්ෂණයේ දී අනාවරණය නොවු බව පොලීසිය පවසයි.
ඒ අවස්ථා දෙකකදී සිදුකරන ලද පරීක්ෂණවල දී එය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් විසින් තීරණය කර තිබේ.
ඒ අනුව කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණය මෙලෙස අවසර ලබාදී ඇත.