හිටපු අමාත්‍ය පාඨලීගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

0
136

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් පිළිබඳව  සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් දමන ලෙස එහි විත්ති පාර්ශවය වෙනුවෙන් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. 

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන් වෙත ලැබි නොමැති බවයි. 

එබැවින් මෙම අවස්ථාවේ නඩු විභාගය පැවැත් වුවහොත් තම සේවාදායකයාට අගතියක් සිදු විය හැකි නිසා එම ලේඛන ලැබෙනතුරු සාක්ෂි විභාගය කල් දමන ලෙස ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් විරෝධය පළ කළා. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කරන කරුණු නඩුවිභාගයක් කල් තැබීම සඳහා සාධාරණ හේතුවක් නොවන බව පෙන්වා දුන්නා.

 ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමටයි මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ. ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 7 වන දා තෙක් කල් තැබුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here