19 සහ 22: වෙනස් ද? සමාන ද? [22වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විමසීමක්]

0
47

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ න්‍යය පත්‍රයක සිටි ආණ්ඩුව මෙන්ම විපක්‍ෂය ද අරගලයත් සමගම ඉතා කෙටි කලකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී. පළමු කෙටුම්පත වූයේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් 2022 මැයි 17 දින විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. දෙවැන්න වූයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකුව සිටිමින් 2022 මැයි 17 දින ආචාර්ය විජයදාස රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. තුන්වැන්න විජයදාස රාජපක්‍ෂ අධිකරණ අමාත්‍යවරයා විසින් 2022 ජූනි මස 29 වන දින ගැසට් පත්‍රයේ පලකරන ලද 22 වන ව්‍යවස්ථා සංශෝධනයයි. සිව්වැන්න විජයදාස රාජපක්‍ෂ අධිකරණ අමාත්‍යවරයා විසින් 2022 අගෝස්තු මස 2 වන දින ගැසට් පත්‍රයේ පල කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

මින් පලමු කෙටුම්පත් පුද්ගලික මන්ත්‍රී කෙටුම්පත් ලෙස සැලකිය හැකි අතර දෙවන කෙටුම්පත් දෙක රජයේ කෙටුම්පත් ලෙස සලකනු ලැබේ. මේ අනුව මෙම කෙටුම්පත් අතරින් ඉදිරියට යාමට ඉඩකඩ පවතින්නේ 2022 අගොස්තු 2 වන දින ගැසට් පත්‍රයේ පලකරන ලද 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත වේ.

මෙම ව්‍යවස්ථා කෙටුම්පත් සියල්ලේ අරමුණ වූයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන බලාත්මක කිරීමයි. ඒ අනුව අගොස්තු 2වන දින ගැසට් පත්‍රයේ පල කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන පිලිබදව සහ එය 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන බලාත්මක කිරීමට කෙතරම් දුරට උත්සාහ ගෙන තිබේදැයි විමසා බලමු.

22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට යෝජනා කරන සංශෝධන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපනය කිරීම

ස්වාධින කොමිෂන් සභා සදහා කොමසාරිස්වරුන් නිර්දේශ කිරීම සහ අගවිනිසුරු පොලිස්පති, නීතිපති ඇතුළු උසස් නිලධාරීන්ගේ නම් අනුමත කිරීම සදහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපනය කරන ලද ආකාරයටම ස්ථාපනය කිරීම මෙම සංශෝධනය මගින්ද යෝජනා කර තිබේ. අතිරේක වශයෙන් මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමේදී ද ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීමට අදාල ප්‍රතිපාදන මෙම සංශෝධනය මගින් යෝජනා කරනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ස්ථාපනය කිරීම මගින් ස්වාධින කොමිෂන් සභා සහ අධිකරණ සහ රාජ්‍ය සේවය ස්වාධින කිරීම සහ එම ක්‍ෂෙත්‍රයන් කෙරෙහි වන ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමක් සිදුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් පාර්ලිමේන්තුවේ බහුතරයේ එගකතාව මත පත් කිරීමේ බලය කථානායකවරයා වෙත පවරා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙක් ස්වාධින කොමිෂන් සභා නැවත පත් කිරීමට සංශෝධනය මගින් ප්‍රතිපාදන සලසා ඇත.

විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා ස්ථාපනය කිරීම

19 වන සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද සහ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා යලි ස්ථාපනය කිරීම මෙම කෙටුම්පත මගින් යෝජනා කරනු ලබයි. එමගින් රාජ්‍ය විගනන ශක්තිමත් කිරීම සහ ස්වාධින කිරීම අපේක්‍ෂා කරනු ලබයි.

ස්වාධින කොමිෂන් සභා ශක්තිමත් කිරීම

ජාතික පොලිස් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවන් සදහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දුන් අතිරේක බලතල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද අතර, එම බලතල නැවත ලබාදීමට මෙම සංශෝධන කෙටුම්පත මගින් ප්‍රතිපාදන සලසා ඇත. එමගින් ජාතික පොලිස් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් වීමක් අපේක්‍ෂා කරනු ලබයි.

ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත්වීමේ අවස්ථා අහිමි කිරීම

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට සහ ජනාධිපතිවරයකු වීමට නුසුදුසුකමක් ලෙස හදුන්වාදුන් ”වෙනත් රටක ද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු” යන ප්‍රතිපාදන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කල අතර මෙම කෙටුම්පත මගින් යළි හදුන්වාදී තිබේ.

එසේම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන අවස්ථාව වන විටත් එවැනි නුසුදුසුකමකට යටත් වන පුද්ගලයකුට පාර්ලිමේන්තුවේ අසුන්ගත නොහැකි බව ද තවදුරටත් දක්වා ඇත. ඒ අනුව එවැනි අයෙක් මේ වන විටත් පාර්ලිමේන්තුවේ සිටී නම් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමක් මෙම සංශෝධනය මගින් අපේක්‍ෂා කරනු ලැබේ.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති බලතල සීමා කිරීම

කැබිනට් අමාත්‍යවරුන් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් පත් කිරීමේ දී අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ක්‍රියාකල යුතු බව ට 19 වන සංශෝධනයේ ප්‍රතිපාදනයක් ඇතුලත් වූ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එය ඉවත් විය. මෙම කෙටුම්පත මගින් එම ප්‍රතිපාදන නැවත ඇතුලත් කිරීමට යෝජනා කර තිබේ.

අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීම

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කල අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත ජනාධිපති වෙත එම බලතල පවරන ලදී. අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් අගමැතිවරයා ඉවත් කල හැකිය. 22 වන සංශෝධනය මගින් අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීමට යෝජනා කර ඇත.

අමාත්‍යවරු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමා කිරීම

ජනාධිපතිවරයාට අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් නොවන අමාත්‍යවරුන් තම තනි අභිමතය පරිදී ඉවත් කිරීමට ඇති බලතල සීමා කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පවරන ලදී. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහත කී අමාත්‍යවරුන් ඉවත් කිරීමේ තනි බලය ජනාධිපතිට පවරණ ලදී. මෙම කෙටුම්පත මගින් එම ප්‍රතිපාදන නැවත ඇතුලත් කිරීමට යෝජනා කර තිබේ.

අමාත්‍යධූර දැරීමට ජනාධිපතිවරයාට ඇති බලය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට අමාත්‍ය ධූර දැරීමට ඇති අවස්ථාව අහිමිකල අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත ජනාධිපතිට අමාත්‍ය ධූර දැරීමට බලය පවරන ලදී. ආරක්‍ෂක අමාත්‍ය ධූරය දැරීමටත්, අමාත්‍යවරයකුට පවරණ තෙක් උපරිම දින 14ක් දක්වා එම අමාත්‍යධූරයන් දරීමටත් 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් යෝජනා කරනු ලැබේ.

පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කිරීමේ කාල සීමාව

පනත් කෙටුම්පතක ව්‍යවස්ථාකූලභාවය ප්‍රශ්න කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දින සිට දින 7ක් තුළ සිදුකල යුතු බවට පවතින ප්‍රතිපාදන දින 14 දක්වා දීර්ඝ කිරීමට 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් යෝජනා කරනු ලබයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමේ ජනාධිපති අභිමතය ඉවත් කිරීම

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉවත් කිරීමට ජනාධිපතිට පැවති අභිමත බලය 19 වන සංශෝධනය මගින් ඉවත් කළ අතර, නැවත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට එම බලතල ලබාදෙන ලදී. 22 වන සංශෝධන කෙටුම්පත මගින් යළිත් එම අභිමත බලය ජනාධිපතිගෙන් ඉවත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ඉවත් කිරීමට ප්‍රතිපාදන යෝජනා කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පැවැත්ම පිලිබද ප්‍රතිපාදන සංශෝධනය

පවතින ප්‍රතිපාදන අනුව අමාත්‍ය මණ්ඩලය විසිර යන අවස්ථාවේදී අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පැවැත්ම ද අහෝසි වේ. අමාත්‍ය මණ්ඩලය විසිරී ගිය ද යළි අමාත්‍යංශ ලේකම්වරයෙකු පත් කරන තෙක් අමාත්‍යංශ ලේකම්වරුන් ක්‍රියාත්මක විය යුතු බවට ප්‍රතිපාදන ඇතුලත් කිරීමට යෝජනා කර ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතිරිවූ ප්‍රතිපාදන

19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදිසි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අහෝසි කරන ලද අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදිසි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යළි හදුන්වාදෙන ලදී. මෙම කෙටුම්පත මගින් එම තතත්වය තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරනු ලැබේ. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තම අභිමතය භාවිතා කල හැකිවන්නේ වසර 4 1/2 කට පසුවය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එය වසර 2 1/2 දක්වා අඩු කරන ලද අතර, මෙම කෙටුම්පත මගින් එම තත්වය තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්‍ෂා කර ඇත. එසේම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට 20 වන සංශෝධනය යටතේ ලැබුණු අභිමත බලය ද සංශෝධන නොකර ඉදිරියට පවත්වාගෙන යාමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර තිබේ.

එසේම 20 වන සංශෝධනය මගින් අලුතින් හදුන්වාදුන් ප්‍රතිපාදන කිහිපයක් ද 22 වන සංශෝධනය මගින් සංශෝධනය නොකර ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරනු ලැබේ. එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යව වැඩි කරන ලද අතර, එම සංඛ්‍යව මෙම කෙටුම්පත මගින් සංශෝධනය කරනු නොලැබේ. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ගණන 3 සිට 5 දක්වා වැඩි කිරීම 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූ අතර එම සංඛ්‍යව සංශෝධනයක් ද මෙම කෙටුම්පත මගින් සිදු කරනු නොලැබේ. එසේම 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතක මූලික ස්වරූපය වෙනස්වන පරිදී සංශෝධන එක් කිරීමට නොහැකිය යන ප්‍රතිපාදනයද මෙම කෙටුම්පත මගින් සංශෝධනය කිරිමට අපේක්‍ෂා නොකරයි.

මේ අනුව ජනාධිපතිවරයාට අමාත්‍යංශ දැරීමට ඇති බලය, හදිසි පනත් පිලිබද ප්‍රතිපාදන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් පත් කිරීමේ ක්‍රමය සහ ජනාධිපතිට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ඇති බලතල පිලිබද ප්‍රතිපාදන හැරුණ විට අනෙක් සියලූ ප්‍රතිපාදන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එකතු කරන ලද ප්‍රගතිශීලි ප්‍රතිපාදනවලට සමානය, එම ප්‍රතිපාදනයන් ද සංශෝධනය වන්නේ නම් මෙම සංශෝධනය සැබවින්ම 19 ප්ලස් වනු ඇත.

නීතිඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyana Arachchi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here